මංගලගම අම්බලම [ Mangalagama Ambalama ]

පිහිටීම
පළාත~ සබරගමුව
දිස්ත්‍රීක්කය~ කෑගල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය~ රඹුක්කන
ග්‍රාමනිළධාරී වසම~ මංගලගම


ගමන් මාර්ගය෴
කොළඹ-නුවර මහාමාර්ගයේ (A1) කෑගල්ල නගරයේ සිට නුවර දෙසට 7.4 kmක දුරක් ගෙවාදැමූ පසු (කරඬුපන, මොලගොඩ පසු කරමින්) වම්පසින් මෙම අම්බලම දැකගත හැකිය. එම මාර්ගයේ 85 km කණුව ආසන්නයේම මෙය පිහිටා ඇත.
කෑගල්ල නගරය > කරඬුපන > මොලගොඩ > මංගලගම අම්බලම

වතගොත෴
කෑගල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි මංගලගම ග්‍රාමයේ කොළඹ-නුවර මහා මාර්ගය අසලම පිහිටා ඇති මෙම අම්බලම ඉතාම පැරණි ගොඩනැගිල්ලකි. නමුත් වර්තමානයේ දක්නට ලැබෙන්නේ එම ඉපැරණි ගොඩනැගිල්ල නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පසුව (වර්ෂ 1970 දී පමණ) ඉදිකරන ලද්දකි. මිනිස් ක්‍රියාකාරකම් හෝ ස්වාභාවික උපද්‍රව හේතුවෙන් විනාශවී තිබු මෙහි එකල ඉතිරි වී තිබෙන්නේ පේකඩය සහිත එක් ලී කැටයම් කණුවක් පමණක් හා ගල්කණු කිහිපයක් (08ක්) පමණි. පසුව එම ගල්කණු හා ගල්කණුවල අනුරුවට ඉදිකරනලද කොන්ක්‍රීට් කණු උපයෝගී කරගෙන මෙය නැවත ඉදිකර ඇත. පැරණි ගල් කණු 8ක් සහ පසුව ඉදිකරනලද කොන්ක්‍රීට් කණු 8ක්ද සහිතව මුළු කණු 16ක් මෙම ගොඩනැගිල්ල සතුය. ශේෂවී තිබු දැව කණුවේ ආකාරයටම අළුතින් පේකඩ තනා හා කැටයම් කපා ලී කණු තනා ඇත. කැටයම් වැඩ සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ ප්‍රදේශයේම එකල පදිංචිව සිටි අමුහේනේ පියදාස බාසුන්නැහේ නම් මහතෙකු විසිනි. අම්බලමට ඇතුලුවීම සඳහා ප්‍රධාන හා අතුරු මාර්ගයන්ට මුහුණලා පිහිටි දොරටු දෙකකි.
තවද මෙහි ඇති ලී කැටයම් සඳහා නෙළුම් මල, බිනර මල, පළාපෙති හා අරිම්බුව වැනි සිංහල සැරසිලි මෝස්‌තර යොදාගෙන ඇත. එසේම මෙහි ඇති පරාලද අලංකාර ලෙස හැඩයන් කපා සකස්කර ඇත.

සබැඳි ජනප්‍රවාද෴
මෙම ප්‍රදේශය සඳහා මංගලගමයැයි ව්‍යවහාර කිරීමට මුල්වූ ජනප්‍රවාදයක් ඇත. ආදී කාලයේ ලංකාවේ වෙහෙර විහාර වැඳීම සඳහා මෙරටට ඉන්දියාවේ සිට ආ බ්‍රාහ්මණයෙක් උඩරට බලායන ගමනේදී වෙහෙස නිවාගැනීම පිණිස මග තිබු අම්බලමක නවාතැන් ගෙන ඇත. එසේ එනවිට ඔහු දඹදිව ඇති ආනන්ද බෝධියේ ශාඛාවක්ද රැගෙනවිත් ඇති අතර එය ඔහු නවාතැන්ගත් අම්බලම අසල තබා තිබුණි. පසුදා නැවත ගමන පිටත් වීමට ගොස් බැලීමේදී එම බෝධි ශාඛාව පොලවට මුල් ඇද තිබු බැවින් ඔහුද එහිම නතරවී සිටීමට ඉටාගෙන ඇත. පසුව එකල සිටි රජු වෙත මෙය සැලවීමෙන් එම ස්ථානයේ විහාරයක් තනවා එම ප්‍රදේශයට ඔහුගේ නම වන මංගල ඇතුලත්වන ලෙසින් මංගලගමයැයි නම් තබා  එම ගම්වරයද ඔහුට ප්‍රදානය කර තිබේ. එදා පටන් මෙගම මංගලගම ලෙසින් හැන්දින්වෙයි. මෙම ජනප්‍රවාදයේ එන අම්බලමද මෙය විය හැකිය.

සේයාරූ෴
[ ඉදිරිපස පෙනුම ]



[ පැති පෙනුම ]



[ පෙති උළු සෙවිලි කරනලද වහලය ]



[ අතුරු මාර්ගයට මුහුණලා ඇති දොරටුව ]



[ දොරටු දෙපස ඇති දැවමය කණුව ]



[ අම්බලම ඇතුලත ඇති ගල්කණු ]



[ වහලය මුදුනෙහි පරාල සවිකර ඇති අයුරු ]



[ හැඩ කපනලද දැව පරාල ]



[ ආරුක්කු හැඩයට සැකසූ පරාල ]



[ පියසි කෙලවර සැකැස්ම ]



[ දැව බාල්ක සඳහා යෙදූ මූට්ටු ]



[ පේකඩ සහිත ලී කණු ]



[ ශේෂවී තිබී ඇති ඉපැරණි අම්බලමේ දැව කණුව හා පේකඩ ]



[ ශේෂවී තිබූ පේකඩය ]



[ පසුව නිර්මාණය කල පේකඩ ]



[ විශාල බාල්ක මත ඉදිකල වහලය ]



[ බිනර මල ]



[ බිනර මල ]



[ බිනර මල ]



[ බිනර මල ]



[ නෙළුම් මල ]



[ බිනර මල ]

සලකුණු කලේ෴
2016 ඔක්තෝම්බර් 09

සබැඳි෴

ආශ්‍රීත ග්‍රන්ථ෴
# ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර/කුසුම්සිරි විජයවර්ධන


Comments